Countdown to Russia 2018: පළමු පාපන්දු ලෝක කුසලානය 1930.

2018 Russia වලට තව දින 43 යි. 21 ලෝක පාපන්දු ශූරතාවට දින ගණින අතරතුර පළමුවන ලෝක කුසලානය කෙසේ පවත්වන්නට ඇතිද?

පෙර විපරම:

නූතන පාපන්දු ක්‍රීඩාව නිර්මාණය වීමෙන් පසු ලොව පළමුවන ජාත්‍යන්තර පාපන්දු තරගය පැවැත්වුණේ 1872 එංගලන්තය හා ස්කොට්ලන්තය අතරයි. ඉන් වසර 58 පසු ලෝක පාපන්දු සම්මේලනය පළමුවන පාපන්දු ලෝක කුසලානය සංවිධානය කළ අතර සත්කාරක රට ලෙස තේරී පත්වූයේ දකුණු ඇමරිකානු රටක් වූ උරුගුවේ රාජ්‍යයයි. ඒ වන විටත් පාපන්දු ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගෙන තිබූ අතර 1928 පැවති ඔලිම්පික් උළෙලේ පාපන්දු රන් පදක්කම හිමි කරගෙන තිබුනේ ද උරුගුවේ රාජ්‍යයි.

උරුගුවේ ව්‍යවස්ථාව පිහිටුවා වසර 100යි!

1930 උරුගුවේ ව්‍යවස්ථාව පිහිටුවා ශත සංවත්සරය සැමරීමේ වසර විය. ලොක කුසලානයද එයට සමගාමීව පවත්වන්නට උරුගුවේ රාජ්‍යයේ අදහස විය. තරගාවලිය සදහා රටවල් 13 සහභාගී විය. ඒ ආර්ජෙන්ටිනාව, චිලී, ප්‍රංශය, මෙක්සිකෝව, බ්‍රසීලය, බෙල්ජියම, යුගෝස්ලෝවියා,  බොලීවියාව, රොමේනියාව, ඇ. එ ජනපදය, පීරු, පැරගුවේ සහ සත්කාරක උරුගුවේ රාජ්‍යයි. ඒ කාණ්ඩ හතරක් ඇතුලතයි. එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානය ලබන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.    සියලු තරග පැවත්වූයේ උරුගුවේ අගනුවර වූ මොන්ටිවීඩියෝ හීදි යි.

තරග:

තරගාවලියේ සමාරම්භක තරග දෙක එකම විටක පැවැත්වූයේ ප්‍රංශය හා මෙක්සිකෝව අතරත්, එක්සත් ජනපදය හා බෙල්ජියම අතරත් ය. ප්‍රංශය හා එක්සත් ජනපදය ජයග්‍රාහී කණ්ඩායම් බවට පත්විය. එහිදී ප්‍රංශයේ ලූසියන් ලෝරන්ට් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ගෝල ලාභියා බවට පත්විය.
පළමු වටය අවසානයේ ආර්ජෙන්ටිනාව,උරුගුවේ, එක්සත් ජනපද හා යුගෝස්ලෝවියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

අවසන් පූර්ව වටය:

පළමු අවසන් පූර්ව තරගය පැවැත්වූයේ ආර්ජෙන්ටිනාව හා එක්සත් ජනපදය අතරයි. එක්සත් ජනපද කණ්ඩායම තුළ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ක්‍රීඩකයන් 6 ඇතුලත් විය. තරගය ආරම්භයේ සිටම ප්‍රචණ්ඩකාරී මුහුනුවරක් ගත් අතර, එක්සත් ජනපදයේ මැදපෙල ක්‍රීඩක රෆායල් ට්‍රේසි තුවාළ ලබා පිටියෙන් ඉවත් විය. පළමු අර්ධය වසන් වන විට ආර්ජෙන්ටිනාව 1-0 ලෙස ඉදිරියෙන් සිටි අතර, දෙවන අර්ධයෙදී තරගයේ පාලනය සම්පුර්ණයෙන් සියතට ගෙන තවත් ගෝල 5 වාර්තා කරන්නට සමත් විය. තරගය අවසානය දැක්වූයේ ගෝල 6-1 ලෙස ආර්ජෙන්ටිනා ජයක් ලෙසයි.
දෙවෙනි අවසන් පූර්ව තරගය පැවැත්වුනේ සත්කාරක උරුගුවේ සහ යුගෝස්ලෝවියාව අතරයි. මින් පෙර මේ කණ්ඩායම් දෙකම 1924 ඔලිම්පික් උළෙලේ දී මුණ ගැසී තිබුණි. යුගෝස්ලෝවියාව මුලින්ම ගෝල රැස් කිරීම ඇරඹුවත් පළමු අර්ධය අවසන් වන විට උරුගුවේ 2-1 ඉදිරියෙන් සිටින්නට සමත් විය. දෙවෙනි අර්ධයේදි යුගෝස්ලෝවියාවට කිසිදු අවස්ථාවක් නොදුන් උරුගුවේ පිළ අවසානයේ ගෝල 6-1 ලෙස තරගය ජය ගත්හ. ඒ අනුව පළමු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත් වූයේ දකුණු ඇමරිකානු රටවල් දෙකක් වූ ආර්ජෙන්ටිනාව හා සත්කාරක උරුගුවේ පිල් දෙකයි.
වර්තමානයේ මෙන් තුන්වෙනි ස්ථානය සදහා තරගයක් එකල නොපැවතීම හේතුවෙන් යුගෝස්ලෝවියාව හා එක්සත් ජනපදය යන කණ්ඩායම් දෙකටම ලෝකඩ පදක්කම් පිරිනමා ඇත.

අවසන් මහා තරගය:

මංගල ලෝක පාපන්දු ශූරතාවේ අවසන් තරගය පැවැත්වූයේ 1930 ජූලි 30 දින මොන්ටිවීඩියෝ හී එස්ටේඩියෝ සෙන්ටිනාරියෝ ක්‍රීඩාංගනයේදී යි. අදාල තරගයේ විශේෂත්වය වූයේ අවසන් කණ්ඩායම් දෙක වූ උරුගුවේ හා අර්ජෙන්ටිනාව ඉන් වසර දෙකකට පෙරාතුව 1928 ඔලිම්පික් උළෙලේ රන් පදක්කම සදහා වූ තරගයේදී ද එකිනෙකා මුණ ගැසී තිබූ හෙයින්ය. එහිදී ගෝල 2-1 ලෙස ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ උරුගුවේ කණඩායම යි.
තරගයට පෙර දෙරටේම ජන සමාජය තරග උණුසුමින් වෙළී තිබිණි. ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයන් 15,000 ආසන්න ප්‍රමාණයක් ලා ප්ලාටා ගංගා ද්‍රෝණිය තරණය කරමින් පැමිණියේ "Victoria o muerte" හෙවත් "ජයග්‍රහණය නැතිනම් මරණය" යන යුධ ඝෝෂාව නගමින් ය. තරග ආරම්භය ට පැය හයකට කලින් නොහොත් උදෑසන 8 පමණ සිට ක්‍රීඩාංගන දොරටු විවෘත කර තිබූ අතර, 93,000 පමණ පිරිසක් තරගය සදහා රැස්ව සිටි බව නිල වාර්තා සදහන් කරයි. 
තරග ආරම්භය තෙක්ම කණ්ඩායම් දෙකටම තරගය සදහා කුමන පන්දුව භාවිතා කළ යුතු දැයි එකගතාවකට ඒම නොහැකි වූ අතර, අවසානයේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මැදිහත් වී පළමු අර්ධය සදහා ආර්ජෙන්ටිනාව ටත් දෙවෙනි අර්ධය සදහා උරුගුවේ පිලටත් පන්දුව තෝරා ගැනීම සදහා අවස්ථාව ලබා දුනි. තරගයේ ප්‍රධාන විනිසුරු තැන වූ බෙල්ජියන් ජාතික ජෝන් ලැන්ජිනස් එයට එකගතාව පළ කලේ තරග ආරම්භයට පැය කිහිපයකට පෙරයි. එයට හේතුව වූයේ ඔහුට ස්වකීය ජීවිතය උදෙසා වූ බිය බව සදහන් වේ. ඔහු විසින් ඒ සදහා ව්ක් කොන්දේසියක් පළ කර සිටි අතර එය වූයේ තරගය අවසාන වී පැයක් ඇතුළත උරුගුවේ වලින් පිටවීම සදහා යාත්‍රාව ක් සූදානම් කර තබන ලෙසයි.

කණ්ඩායම් දෙක:

අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ උරුගුවේ පිල එක් වෙනස් කමක් කර තිබූ අතර රෝගී තත්වයෙන් පසුවූ ඇන්සෙල්මෝ වෙනුවට කැස්ට්‍රෝ කණ්ඩායමට කැදවා තිබිණි. අර්ජෙන්ටිනාව වෙනසක් කර නොතිබූ අතර මොන්ටි නැමති ක්‍රීඩකායට තරගයට පෙර මරණ තර්ජන ද ලැබී තිබීම විශේෂත්වය කි. එහෙත් ඔහු ක්‍රීඩා කිරීමට ඉදිරිපත් විය.

තරගය:

තරගයේ ආරම්භක ගෝලය රැස් කිරීමට උරුගුවේ හී පැබ්ලෝ ඩොරාඩෝ සමත් විය. පිළිතුරු ලෙස ආර්ජෙන්ටිනාව මිනිත්තු 8ක් තුළ ගෝලයක් රැස් කිරීම ට සමත් වූයේ විශිෂ්ඨ ලෙස පන්දුව හුවමාරු කරමින් දියත් කළ ක්‍රීඩා රටාවක් සමගින් ය. ආර්ජෙන්ටිනාව වෙනුවෙන් ගෝලය වාර්තා කරන ලද්දේ කර්ලොස් ෆියුසෙල්ලි නම් ක්‍රීඩකයායි. පළමු අර්ධය අවසාන වන්නට මොහොතකට පෙර ආර්ජෙන්ටිනාවේ ගුයිරිලෙමෝ ස්ටැබිලෙ ගෝලයක් වාර්තා කළේය. උරුගුවේ නායක නසාසි එය offside ගෝලයක් යැයි කියමින් විරෝධය පළ කලත් ගෝලය වලංගු ගෝලයක් ලෙසට නම් විය.
දෙවෙනි අර්ධයේදී උරුගුවේ කණ්ඩායම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර, උරුගුවේ වෙනුවෙන් පෙඩ්‍රෝ සෙයා ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කරන ලදී. ඉන් මිනිත්තු දහයකට පසු සැන්ටෝස් ඉරියාටේ ගෝලයක් වාර්තා කරමින් උරුගුවේ පිළ ඉදිරියට ගෙන ඒමට සමත් වූ අතර තරග අවසානයට මොහොතකට පෙර කැස්ට්‍රෝ විසින් හතරවන ගෝලය වාර්තා කරමින් උරුගුවේ ජය තහවරු කරන ලදී. විනිසුරු ජෝන් ලැන්ජිනස් තරග අවසන් සංඥාව පළ කරන විට ලකුණු තත්වය දැක්වුනේ ගෝල 4-2 ලෙස උරුගුවේ පිළට ජය අත්කර දෙමින් ය. මේ අනුව පාපන්දු ක්‍රීඩාවේ පළමු ලෝක ශූරතාව උරුගුවේ ජාතික පිළ ඉදිරියෙන් ලියවී තිබුණි.
ජයග්‍රාහි උරුගුවේ පිළ ලෝක ශූරතාව ලබා ගත්තේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති වූ ප්‍රංශ ජාතික ජූල්ස් රීමේ අතින් ය. පසු කලෙක පාපන්දු ලෝක කුසලානය ඔහුගේ නමින් නම් විය.
තරගයෙන් පසු දිනය උරුගුවේ හි ජාතික නිවාඩු දිනයක් ලෙස නම් විය. ඒ අතර ආර්ජෙන්ටිනා අගනුවර වූ බුවනෝස් අයර්ස් හී පිහිටි උරුගුවේ කොන්සාල් කාර්‍යාලයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වූයේ කලහකාරි ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයන් වෙතින් ය.
අවසන් තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහි උරුගුවේ කණ්ඩායමේ ජීවතුන් අතර සිටි අවසන් ක්‍රීඩකයා වූ 
අර්නස්ටෝ මැස්කරොනි 76 වසරක් ආයු වළදා 1984 දී 
මියගිය අතර. 20 හැවිරිදි ක්‍රීඩකයෙක්ව සිට එම තරගයට ක්‍රීඩා කළ ආර්ජෙන්ටිනාවේ ෆ්‍රැන්සිස්කෝ වැරෙල්ලෝ වසර 100 ආයු වළදා 2010 අගෝස්තු 30 දින අභාවප්‍රාප්ත විය.

රූපය 1: තරගාවලියේ නිළ පෝස්ටරය

රූපය 2: ජයග්‍රාහී උරුගුවේ පිළ



රූපය 3: අවසන් තරගයට භාවිතා කරන ලද පන්දුවක්


Comments